ගිංතොට පාසල
''ගිංතොට පාසල්'' නමින් උපත ලද ගිංතොට මහා විද්‍යාලය ක්‍රි.ව.1895 වර්ෂයේදී ආරම්භ වී ඇති බව පිළිගත හැකි සාධක නොමැති වුවත්, ජනප්රවාදයට අනුව සනිටුහන් කළ යුතුව ඇත. එදා ග්‍රාමයේ පූජනීය ස්ථානයන්හි වැඩ විසූ අපවත් වී වදාල ගරුතර ''පූජ්‍ය සුමේධ හිමි'',ගරුතර ''පූජ්‍ය ගිංතොට භාරද්වාජ හිමි'' වැනි නායක ස්වාමීන් වහන්සේලා ද ගමේ විසූ දැනට අප අතරින් සමුගෙන ගිය පැරණි මුතුන් මිත්තන්ගෙන් පැවත එන ජනවහරට අනුව පාසලේ උපත මේ යයි සිහියට නැගී එයි.අද විද්‍යාලය පිහිටි භූමියට ඉදිරි පසින් දිස් වූ වැලි පල නම් ස්ථානයේ කටු මැටියෙන් ඉදි කරන ලද කුඩා ශාලාවක මෙය ආරම්භ වී ඇත. එක් තැන් කරගත් සිසුන් පස් දෙනෙකුට පමණ අකුරු කියාදෙන ස්ථානයක් වූ මෙහි මුල් ගුරු මහතෙකු එම ක්‍රියාවලියේ නිරත වූ බව ජනප්රවාදයට අනුව සටහන් කළ යුතුව ඇත. ගමේ මුලාදෑනී මහතා ගෙයින් ගෙට ගොස් සිසුන් තිහක් පමණ කැමති කරවා ගෙන ඉදිරි ආරම්භක පියවරට උර දුනි. මේ වන විට ගාල්ල බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් පැවති ''අමරසූරිය පාසල් මණ්ඩලය''යටතට ගිංතොට පාසල ද පවරා ගනී. එතැන් සිට මුල් ගුරුවරයා සහ උප ගුරුවරයා වශයෙන් දෙදෙනෙකු පාසලෙහි සේවය කර ඇත.
ගිංතොට බෞද්ධ පාඨශාලාව
මේ අන්දමට පෝෂණය වූ ගිංතොට පාසල වත්මනේ පිහිටි ස්ථානයට ගෙන එන්නට සිදුවූයේ ජන ගහණය කෙමෙන් කෙමෙන් වැඩි වී සිය දූ පුතුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වැඩිහිටි අවධානය යොමු වූ නිසාය. ඒ අනුව ගාල්ල වැල්ලබඩ පත්තුවේ ලංසිගේ වත්ත හෙවත් තොටගේ වත්ත අක්කර දෙකයි පර්චස් දහයක පමණ වූ බිමේ නව ගොඩනැගිලි ඉදි වෙමින් ක්‍රි.ව.1897 වසරේ දී ''ගිංතොට බෞද්ධ පාඨශාලාව'' නමින් නැවත ජීවයක් ලැබුණි. මෙම පාසලේ දත්තයන් පිරික්සීමේදි පළමු මුල් ගුරු මහතා ලෙස ''පී.ජේ.සේරසිංහ'' මහතා වැඩ ආවරණය කර ඇති අතර උප ගුරු මහතා ලෙස ''ඩබ්.ආර්.ඩී.අල්විස්'' මහතා වැඩ ආවරණය කර ඇත. මෙම කාල වකවානුව වන විට පාසල පවත්වාගෙන වන ලද්දේ පාසල් මණ්ඩලයේ තීරණයන් හා උපදෙස් මතය. ඒ අනුව පාසල පවත්වාගෙන යාම සහ නිවාඩු ලබාදීම ද පාසල් මණ්ඩලය සතුවිය. එවන් පරිපාලනමය ක්‍රියාවලිය මත වර්ෂාව අධික දිනවල පාසල නොපැවැත් වූ අතර පාසලේ සිසුන් අඩු දිනවල නාම ලේඛනයේ පැමිණීම ලකුණු කිරීමක් ද සිදුකර නොමැත. මෙසේ පාසලේ වැඩ කටයුතු කරගෙන ගොස් ඇති අතර දැනට විද්‍යාලය සතුව දක්නට ඇති පළමුවෙනි ලොග් සටහන් දත්තයන්ට අනුව ක්‍රි.ව.1899 දෙසැම්බර් මස නත්තල් උත්සවය අරමුණු කරගෙන පාසල් නිවාඩුව ලබා දී ඇත.
විසිවැනි සියවස වූ 1900 වර්ෂය සදහා පාසල විවෘත ව ඇත්තේ වසරේ ජනවාරි මස 03 වන දිනය . මෙම වර්ෂයේ දී ගිංතොට බෞද්ධ පාඨශාලාවට ගුරු මහත්මියක් ද සේවය සදහා පැමිණ ඇත. නමින් ඇය ''කේ. දෝන අදිලියානා'' ය. මෙම වසරේ පෙර වසර වල මෙන් පාඨශාලාවේ අධ්‍යයන කටයුතු කරගෙන ගොස් ඇති අතර දෙසැම්බර් මස වසරේ අවසන් නිවාඩුව ලබා දී ඇත.
වර්ෂ 1901 සදහා නැවත පාඨශාලාව විවෘත කර ඇත්තේ ජනවාරි මස 04 වන දිනය. එදින පසළොස්වක පොහොය දිනයක් වීම නිසා ආගම සිහිකර සිසුන් ආපසු නිවෙස් කරා යවා ඇත. මේ කාලය වනවිට එනම් ක්‍රි.ව.1901 ජනවාරි 28 වන දින බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා මහ රැජිණගේ අභාවය සිදු වී ඇත. මහ රැජිණගෙ අවසන් කටයුතු පෙබරවාරි මස 02 දින සිදු කිරීමට යෙදී තිබීම හේතුවෙන් පෙබරවාරි මස පළමුවෙනි දින සිට පාසල වසා ඇත. නැවත පාසල විවෘත වීමෙන් පෙර පරිදි අධ්‍යාපන ක්‍රියාවලියට සිසුන් සහභාගී කරවා ගෙන ඇත. මෙම වසරේ මෙතෙක් මුල් ගුරු තනතුර හෙබවූ ''පී.ජේ.සේරසිංහ'' මහතා වෙනුවට නව මුල් ගුරු මහතෙකු පත් කර එවා ඇත. ඒ වර්ෂ 1901 ජුනි මස 03 වන දින සිටය. නමින් ''ඩී.ජේ.ජයතිලක'' වූ ඒ මහතා වසරේ සැප්තැම්බර් මස 23වෙනි දින දක්වා පාසලේ මුල් ගුරු මහතා ලෙස වැඩ බලා ඇත. නැවත 1901 සැප්තැම්බර් මස 24 වෙනි දින සිට ''පී.ජේ.සේරසිංහ'' මහතා ම පාඨශාලාවේ මුල් ගුරු මහතා ලෙස පත් කර එවා ඇත. පාඨශාලාවේ පවත්වා ගෙන ගිය දෛනික පාසල් කටයුතු පෙරසේ ම කරගෙන ගොස් ඇති අතර 1901 දෙසැම්බර් මස 20 වන දින වසරේ අවසන් නිවාඩුව ලබා දී ඇත.
නැවත 1902 වර්ෂය සදහා පාසල ආරම්භ කර ඇත්තේ ජනවාරී මස 06 වන දිනය.පෙර පරිදි පාසලේ කාර්යයන් කර ගෙන යෑම සිදු වී ඇති අතර,යම් යම් හේතු මත සිසුන්ගේ නොපැමිණීම නිසා පාඨශාලාවේ නාම ලේඛනය ලකුණු කිරීමක් කර නැති බව දත්තයන්ගෙන් පැහැදිලි වේ. මෙම වසරේ නව බ්‍රිතාන්‍ය මහ රැජිණගේ ඔටුනු පැළදවීමේ මංගල්‍යය සිදු කර ඇත. එවකට යටත් විජිතයක් වූ ශ්‍රී ලංකාවට එම විශේෂිත අවස්ථාව සදහා ගෞරව දැක්වීම වස් 1902 ජුනි මස 26 වන දින පාඨශාලාව ට දෙදිනක නිවාඩුවක් ලබා දී ඇත. මෙවන් කාර්යයන් නිමා කරමින් වසරේ අවසන් නිවාඩුව දෙසැම්බර් මස 22 වන දින සිසුනට ලබා දී ඇත.
අභිනව වර්ෂ සඳහා පාසල 1903 වසරේ ජනවාරි මස 05 වන දින විවෘත කර ඇත. අධ්‍යාපන කටයුතු වලට ප්‍රමුඛතාවය දෙමින් විශේෂිත වූ අවස්ථා වලදී පාඨශාලාවට නිවාඩු ලබා දීම ද සිදු විය. ඒ අනුව 1903 ජනවාරි මස 22 වන දින බ්‍රිතාන්‍යයේ ''හත් වන එඩ්වඩ්'' රජතුමා සිංහාසනාරූඪ වීම සිදූ වූ අතර ඒ සඳහා උපහාර දැක්වීමේ අරමුණ ඇතිව පාඨශාලාව වසන්නට යෙදුනි. මුල් ගුරු තනතුරේ වෙනසක් ඇති කරමින් වසරේ ඔක්තෝබර් මස 12 වන දින සිට නව මුල් ගුරු මහතෙකු පත් කරන්නට යෙදුනි. ''ඒ.සී.ඒ.කුමාරණතුංග'' මහතාය. මෙම නව මුල් ගුරු මහතාගේ වැඩ භාර ගැනීම වන විට පාඨශාලාවේ භාවිතය සඳහා බංකු 14 ද, ලියන මේස 02 ද, ගුරු මේස 03 ද හා පුටු 03 ද, සිතියම් 02 හා කළු ලෑලී 01 ද තිබී ඇති බැව් ලොග් සටහන් දත්තයන් ගෙන් පැහැදිලි වේ. ඊට අමතරව පන්ති නාම ලේඛන 02 හා සිසුන් ඇතුළත් කිරීමේ ලේඛනයක් ද පවත්වා ගෙන ගොස් ඇත. කාලීනව මෙසේ,හිමි භෞතික සම්පත් ඇතිව අධ්‍යාපන කටයුතු කර ගෙන ගිය පාඨශාලාව සුපුරුදු ලෙස වසර අවසාන් නිවාඩුව 1903 දෙසැම්බර් මස 18 වන දිනෙන් ලබා දී ඇත.
පාඨශාලාව අභිනව වර්ෂය සඳහා නැවත ආරම්භ කර ඇත්තේ 1904 ජනවාරි මස 04 වන දින සිටය. පාඨශාලාවේ මෙතෙක් පෙනෙන දත්තයන් පිරික්සීමේ දී පැතිර ගිය ලෙඩ රෝග නිසා දෙමාපියන් ගේ ඉල්ලීම මත හා එවකට මහා අධිරජ්‍යයාට අවශ්‍ය දිනවල පාසල නිවාඩු දී ඇති නිසාත් සිසුන්ගේ පැමිණීමේ අක්‍රමිකතාවයක් සිදුවී ඇත. එසේම 1904 වර්ෂයේ ජුනි මස 06 වන දින සිට මුල් ගුරු ''සී.ඒ.කුමාරණතුංග'' මහතා වෙනුවට එම මහතාගේ සොහොයුරු ''ඩී.ජේ.කුමාරණතුංග'' මහතා මුල් ගුරු පදවියේ වැඩ භාරගත් බව සඳහන් වේ.මේ වකවානුව වන විට ගිංතොට බෞද්ධ පාඨශාලාවේ කළමණාකාර මහතා ''ටී.ඩී.එස්.අමරසූරිය'' මහතා ය. මෙසේ කාලය ගෙවී යත්ම වසරේ අවසාන නිවාඩු දිනය 1904 දෙසැම්බර් මස 28 වන දිනට යෙදී තිබුණි.
නව වසර සඳහා පාසල ආරම්භ වී ඇත්තේ 1905 ජනවාරි මස 09 වෙනි දිනය. පෙර පරිදිම පාසලේ වැඩ කටයුතු ක්‍රියාත්මක වී ඇති අතර නව මුල් ගුරු මහතෙකු ද මෙම කාලය වනවිට පත්කර ඇත.ඒ අනුව 1905 සැප්තැම්බර් මස 05 වන දින සිට ''ජී.ඩ්බ්.වනිගසේකර''මහතා පාඨශාලාවේ මුල් ගුරු පදවියේ වැඩ භාරගෙන ඇත. පෙරසේම පාඨශාලාවේ වැඩ කටයුතු කරගෙන ගොස් ඇති අතර වසරේ අවසාන නිවාඩුව දෙසැම්බර් මස 05වන දින ලබා දී ඇත.
1906 ක් වූ වර්ෂය සඳහා පාසල විවෘත ඇත්තේ වසරේ ජනවාරි මස 05 වෙනි දිනය. එම ආරම්භයත් සමඟ කළමණාකරණ මහතාගේ අණ පරිදි 1906 මාර්තු මස 12 වෙනි සිට නව ප්‍රධාන ආචාර්ය ධූරය සඳහා ''ඩී.ඉලගේ'' මහතා පත් කරන ලදී . එම පත් කිරීම ඉතා සුළු කාලයකට සීමා වූ අතර වසරේ මැයි මස 11 වන දින සිට ''ඩී.බී.දහනායක'' මහතා ප්‍රධානාචාර්ය ධූරයට පත් කර ඇත.වසරේ වැඩ කටයුතු පෙර පරිදිම සිදු වී ඇති බව පෙනී යයි. එනමුදු වර්ෂාව අධික වීමත්, ලෙඩ රෝග පැතිරී යාම නිසාත් සිසුන්ගේ පැමිණීම ද බොහෝ දුරට මේ වසරේ අඩු වී ඇත. ඒ හේතුවෙන් කඩින් කඩ පාසල වසමින් වසරේ අවසන් නිවාඩුව දෙසැම්බර් මස 21 වන දින ලබා දී ඇත.
නැවට පාසල් වාරය 1907 ජනවාරි මස 05 වෙනි දින ආරම්භ කර ඇත. පෙර පරිදිම පාසලේ කාර්යයන් සිදු වී ඇති අතර විශේෂිත වූ දිනයන්හි පාසලට නිවාඩු දීම ද සිදු කර ඇත. ඒ අනුව වසරේ පෙබරවාරි මස 19 වන දින පරලොව සැපත් ''කර්නල් ඕල්කට'' තුමා වෙනුවෙන් නිවාඩු ලබා දී ඇත. එමෙන්ම මෙතෙක් පාසලේ සාමාන්‍යාධිකාරවරයා වශයෙන් සේවය කළ ''ටී.ඩී.එස්.අමරසූරිය'' මහතා ගේ අභාවය සිදු වී ඇත. වසරේ මැයි මස 15 වන දිනට එම අභාවය හේතුවෙන් විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙවන් කාර්යයන් ඉටු වෙමින් වසරේ අවසානය ද උදාවිය. ඒ හේතුවෙන් 1907 දෙසැම්බර් මස 24 වෙනි දින වසරේ අවසන් නිවාඩුව පාසලට ලැබුණි.
නව වසරේ, පාසල් ආරම්භය පත්වූ නව සාමාන්‍යාධිකාරි ''එච්.අමරසූරිය'' මහතාගේ කළමණාකාරිත්වය යටතේ සිදු විය. ඒ වර්ෂ 1908 ජනවාරි මස 04 වන දින විය. මේ කාල සීමාව වන විට පාඨශාලාවේ ගුරුමහත්වරු දෙදෙනෙක්ද, එක් ගුරු මහත්මියක්ද, සිසුන් සීයකට අධික සංඛ්‍යාවක් ද සිටි බව දත්ත අනුව සඳහන් කළ හැකිය. පෙර පරිදිම පාසලේ වැඩ කටයුතු කරගෙන ගොස් ඇති අතර නව කළමණාකාර මහතා විසින් නව ප්‍රධානාචාර්ය මහතෙකුද පත් කර ඇත. 1908 දෙසැම්බර් මස 17 වන දින පත් කරනු ලැබූ ''එම්.ඩ්බ්.ගුණසේකර'' මහතා එම ප්‍රධානාචාර්ය තුමා විය. මෙවන් රාජකාරී මධ්‍යයේ වසරේ අවසන් නිවාඩුව 1908 දෙසැම්බර් මස 23 දින පාඨශාලාවට ලබාදී ඇත.
මින් අනතුරුව නව වසර 1909 ජනවාරි මස 08 වන දිනෙන් ආරම්භ විය.මේ දක්වා පෙර වසර වල පුර පසළොස්වක පොහොය දිනයන්හි කරන ලද ආගමික වතාවත් කර ඇත්තේ පාසලේදීමය.1909 වූ මෙම වසරේ එහි වෙනසක් සිදුකරමින් ඔක්තෝම්බර් මස 28 වන දින යෙදී තිබූ පොහොය ආගමික වතාවත් සදහා අසල පූජනීය ස්ථානයකට සිසුන් සමූහය කැදවා ගෙන ගොස් ඇති බව පෙනේ.මේ අන්දමට යම් යම් වෙනස්කම් සිදුකරමින් පාසලේ අධ්‍යාපන කටයුතු කිරීම ඉදිරි ගමනේ එක් පියවරකි.මෙසේ දියත් වූ වර්ෂයේ අවසන් නිවාඩුව දෙසැම්බර් මස 24 දිනට ලබාදී ඇත.
1910 ක් වූ නව වසර සඳහා නැවත පාසල විවෘත වූයේ වසරේ ජනවාරි මස 07 වෙනි දිනය. මේ වසරේ දී එදා යටත් විජිත රාජ්‍යයන්හි පාලකයා වශයෙන් කිරුළ පැළඳ සිටි ''හත්වෙනි එඩ්වඩ්'' රජතුමාගේ අභාවයේ සිදු වී ඇත. ඒ නිමිත්තෙන් රජතුමාගේ අවසන් කටයුතු සිදු කල වසරේ මැයි 20 වන දින දැක්වු ගෞරවයක් ලෙස පාසලට නිවාඩු ලබා දී ඇත. එසේම පෙර වසර වල මෙන් පාසල් වැඩ කටයුතු වල නිමාවක් දකිමින් දෙසැම්බර් මස 24 වෙනි දින වසරේ අවසාන නිවාඩුව ද පාසලට ලබා දී ඇත.
නව වසරට පාසල විවෘත වූයේ 1911 ජනවාරි මස 10 වෙනි දිනය. පාසල පවත්වා පෙර පරිදිම අධ්‍යාපන කටයුතු හා බාහිර කාර්යයන් ද සිදු කර ඇති බව පෙනී යයි. මෙම වසරේ මැයි මස 03 වන දින අපවත් වී වදාළ ''හික්කඩුවේ සුමංගල'' නායක සමිඳුන්ගේ ආදාහනය සිදු වී ඇති අතර ඒ නිමිත්තෙන් පාඨශාලාවට නිවාඩු ලබා දෙමින් ශිෂ්‍ය සමූහයාද එම පුණ්‍ය කටයුත්තට සහභාගී කරවා ඇත. එපමණක් නොව පසළොස්වක පොහොය දිනයන්හි දී ද පුණ්‍ය කටයුතු සඳහා පාසල් සිසුන් යොමු කර ඇත. මෙම වසරේ පාසල වැදගත් සන්ධිස්ථානයකට පියවර නගා ඇති බව සඳහන් කළ යුතු වේ. මේ අනුව 1911 වර්ෂයේ ජූලි මස 04 වන දින සිට 12 වන දින දක්වා පාඨශාලාවේ අභිනව ගෘහ ප්‍රවේශ මංගල්‍යයක් පවත්වා ඇත. එම දිනවල දී උත්සව සැමරීම් වස් පාඨශාලාවට නිවාඩු ලබා දී ඇත. මෙවන් වැඩ කටයුතු වල නිමාවක් දකිමින් නත්තල් උත්සවය සැමරීම් වස් වසර අවසාන නිවාඩුව දෙසැම්බර් මස ලබා දුනී.
නව වසර වූ 1912 වර්ෂය සඳහා වසරේ ජනවාරි 05 වැනි දින නැවත පාඨශාලාව විවෘත කෙරිනි. 1912 ක් වූ ඇරඹි නව වසරේ දී මුල් ගුරු තනතුරේ ද වෙනසක් සිදු විය. මේ අනුව වසරේ අප්‍රේල් මස 22 දෙවෙනි දින සිට ''ඩ්බ්.ආර්.සී.අල්විස්'' මහතා මුල් ගුරු තනතුරට පත් කර ඇත. එනමුදු එම පත් කිරීම එම වසරේ ම මැයි මස පළමු දින තෙක් වූ කෙටි කාලයට සීමා විය. වසරේ මැයි මස 02 දින සිට නව මුල් ගුරු මහතා වශයෙන් ''ඩී.ඒ.නාරංගොඩ'' මහතා මේ අනුව පත්කරන්නට යෙදුනි. නව පාලනය යටතේ වසරේ ඉගැන්වීම් හා බාහිර ක්‍රියාකාරම් වල ද නියැලෙමින් නත්තල් උත්සවය සැමරීම් වස් වසරේ දෙසැම්බර් නිවාඩුව සඳහා පාසල වසා ඇත.
මෙම මුල් ගුරු මහතාගේ පාලනය යටතේම 1913 වසරේ පාසල් ආරම්භය ජනවාරි මාසයේ දී ම සිදු විය. එම වර්ෂයේ පෙර පරිදිම වැඩ කටයුතු වල නියැලෙමින් දෙසැම්බර් මස 23 වන දින වසර අවසන් නිවාඩුව ලබා දෙමින් පාසල වසා ඇත.
1914 ක් වූ නව වසර උදාවිය. එම වර්ෂය ද පෙර වසර මෙන්ම ඉගැන්වීම් ආදී රාජකාරී කටයුතු කරගෙන් යමින් එම වර්ෂය දෙසැම්බර් මස 24 වෙනි දිනෙන් දින පාඨශාලාව වසා සිසුන් හට නිවාඩු ලබා දී ඇත. ඒ 1915 වසරේ ජනවාරි මස 04 වෙනි දින දක්වාය. එතැන් සිට ඇරඹී 1915 වර්ෂය ද පෙරමෙන් ම සෑම කටයුත්තක් ම ක්‍රියාත්මක කරමින් වසරේ දෙසැම්බර් මස 20 වෙනි දින වර්ෂ අවසාන නිවාඩුව පාඨශාලාවට ලබාදුනී. ඒ 1916 වර්ෂයේ ජනවාරි මස 03 වෙනි දින දක්වාය. මෙතැන් සිට ආරම්භ වූ නව යම් යම් හේතූන් නිසා නිවාඩු ලබා දෙමින් හා සිසුන් අඩු දිනවල දී නාම ලේඛනය ලකුණු නොකරමින් පාසලේ පෙර පරිදිම වැඩ කටයුතු කරගෙන ගොස් ඇත. මෙම වසරේ දී වසර 04 පමණ කාලයක ප්‍රධානාචාර්ය ධූරය හොබවමින් සිටි ''ඩී.ඒ.නාරංගොඩ'' මහතා සිය ධූරයෙන් වසරේ අගෝස්තු මස 31 වන දින අස්විය. එම හිස් වූ ප්‍රධානාචාර්ය ධූරය සඳහා එම වසරේ සැප්තැම්බර් මස 01වෙනි දින ''ඩබ්.එස්.වර්ණසූරිය'' මහතා සාමාන්‍යාධිකාරී තුමා විසින් පත් කරන ලදී. මෙම වර්ෂය වන විට පාඨශාලාවේ ශිෂ්‍ය සංඛ්‍යාව සියය ඉක්මවා සිටියහ. එයින් ගැහැණු ළමයින්ගේ සංඛ්‍යාව වැඩි වූ අතර පිරිමි ළමයින්ගේ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබේ.
එදා දඩල්ල වාලුවාරාමයේ පැවති පොහොය දින පුණ්‍ය කටයුත්තට සිසුන් සියයකට අධික සංඛ්‍යාවකින් මල් පෙරහැරක් සූදානම් කර කැඳවා ගෙන යාමෙන් සිසුන් සංඛ්‍යාවේ ප්‍රමාණය තහවුරු වනවා ඇත. මේවන විට උප ගුරුභවතුන් පස් දෙනෙකු පමණ පාඨශාලාවේ සේවයේ යෙදී සිටියහ. එමෙන්ම මේ කාලසීමාව වන විට විශේෂිත වූ සිදුවීමක් ලෙස ශිෂ්‍ය මොනිටර්වරු වශයෙන් සිසුන් පාඨශාලාවේ සේවයට යොදා ගැනීමක් සිදු විය. එදා සිටි ''සිසිලිනා රණවීර'' ශිෂ්‍යාව සහ ''එස්.ටී.හින්නි අප්පු''ශිෂ්‍යයා එසේ සේවය කළ ශිෂ්‍ය මොනිටර් ගුරුවරු වේ. මේ අන්දමින් දිනෙන් දින් ඉදිරි පියවර තබමින් පාඨශාලාවේ වැඩ කටයුතු කෙරී ඇති අතර වසර අවසන් නිවාඩුව දෙසැම්බර් මස 22 දින සිසුනට ලබා දී පාසල වසා ඇත.
නැවත නව වර්ෂය වූ 1917 දී පාසැල් වාරය ජනවාරි මස 02 දිනෙන් පසු ආරම්භ විය. දිනෙන් දින වැඩි වූ ශිෂ්‍ය සංඛ්‍යාව මෙම වසර වන විට දෙසීයක් පමණ වූහ. පසුගිය වසර වල මෙන් ම අධ්‍යයන කටයුතු හා අනෙක් කාර්යයන් නිම කරමින් වසර අවසන් නිවාඩුව දෙසැම්බර් මස 21 වන දින පාඨශාලාවට ලැබුණි.
1918 වසර උදා විය. පෙර වසරේ පාසැල් නිවාඩුවෙන් පසුව නැවත නව වර්ෂය සඳහා පාසල විවෘත වන්නේ වර්ෂයේ 03 වෙනිදායින් පසුවයි. පළමුව ''ගිංතොට පාසල '' නමින් උපත ලැබූ ''ගිංතොට බෞද්ධ පාඨශාලාව'' නමින් පසුව නම් කරන ලදී. 1918 වර්ෂයේ මැයි මාසය පමණ වන විට බෞද්ධ ශිෂ්‍යයන් මෙන්ම මුස්ලිම් ශිෂ්‍යයන් ද පාඨශාලාවේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණ ඇත. එතැන් සිට ''ගිංතොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාව'' නමින් හඳුන් වන්නට විය. දැනට විද්‍යාලය සතු දත්තයන්ට අනුව 1918 වර්ෂයේ මැයි මස 29 වන දින ප්‍රථම වරට මුස්ලිම් ශිෂ්‍යයෙකු ඇතුලත් කර ඇත.ඒ එදා ගිංතොට ප්‍රදේශයේ පදිංචිව සිටි ''අබ්දුල් හමීඩ්'' ශිෂ්‍යයා ය. කෙමෙන් කෙමෙන් මෙසේ කාලය ගෙවී ගියේය. එදා මහවත්තේ පන්සල නමින් හැඳින්වූ ගිංතොට ථූපාරාම විහාරස්ථානයට සිසු දරු දැරියන් පුණ්‍ය කටයුතු සඳහා කැඳවා ගෙන ගොස් ඇත. මෙවන් කාර්යයන්ගේ නිමාව දකිමින් වසර අවසන් නිවාඩුව දෙසැම්බර් මස 24 වන දින පාසලට ලබා දී ඇත.